ශ්‍රී සුමන පුරාවත
මහලකොටුව ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ වැඩ විසු කොස්ගහහේනේ සුමන හිමියන් විසින් යටත් විජිත සමයේ දිවයින පුරා මිෂනාරි පාසල් බිහිවෙමින් පැවති වකවානුවක ප්‍රදේශයේ බෞද්ධ දරු දැරියන්ගේ නැණ පහන් දල්වන්නට ශ්‍රී සුම විහාරස්ථානය තුල ඉතා සීමිත පිරිමි දරුවන් පිරිසකගේ සහභාගිත්වයෙන් පාසලේ මූලාරම්භය තබන ලදි. ක්‍රමානුකූලව වසර කීපයක ඇවෑමෙන් අනතුරුව වර්තමානයේ විහාරස්ථානය අසල පාසලේ ගුරු නිවාසය ඉදිකර ඇති ස්ථානයේ තාවකාලිකව ඉදි කරනලද පොල් අතු මඩුවක පිරිමි දරුවන් සදහා අධ්‍යාපනය ලබාදී ඇති අතර බාලිකාවන් සදහා ද විහාරස්ථානයට පරිබාහිරව වර්තමානයේ පාසල පවතින ස්ථානයේ ඉදිකරන ලද තාවකාලික ගොඩනැගිල්ලක අධ්‍යාපනය ලබාදෙන ලද අතර එම තාවකාලික ගොඩනැගිල්ල විරුද්ධ වාදීන් විසින් ගිනි තබා විනාශ කිරීමෙන් පසු නැවත බෙලෙක් තහඩු යොදා අර්ධ ස්ථීර ගොඩනැගිල්ලක් ඉදිකර පාසල අඛණ්ඩව පවත්වාගෙන යාමට කොස්ගහහේනේ සුමන හිමියන් සමත් විය. මෙසේ බාලක බාලිකා වශයෙන් ස්ථාන දෙකක වෙන වෙනම පවත්වාගෙන ගිය ලැබූ පාසල වර්ෂ 1925දී රජය මගින් ඉදිකරන ලද ස්ථීර ගොඩනැගිල්ලේ බාලක බාලිකා මිශ්‍ර පාසලක් වශයෙන් ආරම්භ කරන ලදී. පාසලේ ආරම්භය සදහා පුරෝගාමී වූ කොස්ගහහේනේ සුමන හිමියන්ට කෘත ගුණ සැලකීමක් වශයෙන් පසු කාලීනව මෙම විද්‍යාලය ශ්‍රී සුමන විද්‍යාලය වශයෙන් නම් කර ඇති අතර ක්‍රමයෙන් ශිෂ්‍ය සංඛ්‍යාව වර්ධනය වීමත් සමග වර්ෂ 1962දී එවකට පාසලේ විදුහල්පති W.G සුමනදාස ඒකනායක මහත්මාගේ පුරෝගාමීත්වයෙන්මහා විද්‍යාලයක් බවට පත් කරන ලදී. මෙසේ එදා මෙදා තුර ප්‍රදේශයේ සුවහසක් දුවා දරුවන්ගේ නැණ පහන් දල්වමින් පැමිණි අභිමානවත් ගමන්මගේ සුවිශේෂී සන්දිස්ථානයක් සනිටුහන් කරමින් වර්ෂ 2025දී සියවැනි සංවත්සරයට පාතබන මහලකොටුව ශ්‍රී සුමන විදුහල් මෑණියන් තවත් චිරාත් කාලයක් දැයේ දරු දැරියන්ගේ නැණ පහන් දල්වන තෝතැන්නක් වනු නොවනුමානය.






